අතීතයේ පැවති ඇලෙක්සැන්ඩ්රියාවේ පුස්තකාලය (Library of Alexandria) යනු පුරාණ ලෝකයේ පැවති විශිෂ්ටතම දැනුම් කේන්ද්රස්ථානයක් ලෙස හැඳින්විය හැකිය. මෙය පුරාණ ඊජිප්තුවේ ඇලෙක්සැන්ඩ්රියා නගරයේ පිහිටා තිබූ අතර, මිනිසා තම දැනුම එක් රැස් කර තබා ගැනීමට දැරූ උත්සාහයේ අග්ර ගන්ය පියවරක් මේ ඔස්සේ තැබූ බව පිළිගත හැකි කරුණකි. මින් පෙර පැවති බවට සඳහන් වන අසුර්පනිපාල් රජුගේ පුස්තකාලය මෙන්ම සමකාලීනව තරඟකාරී පුස්තකාලයක් වූ පර්ගමන් පුස්තකාලය වැනි පුස්තකාල සමඟ සැසදීමේදී ඇලෙක්සැන්ඩියානු පුස්තකාලය සුවිශාල දැනුම් සම්භාරයක් තැන්පත් කර තැබූ බවට සාධක හමු වී ඇත.
මෙම දැවැන්ත බුද්ධිමය ව්යාපෘතියේ ආරම්භය ක්රි.පූ. 3 වැනි සියවසට පමණ දිව යයි. මහා ඇලෙක්සැන්ඩර් අධිරාජයාගේ මරණයෙන් පසු ඔහුගේ සෙන්පතියෙකු වූ ටොලමි I සෝටර් (Ptolemy I Soter) විසින් ඊජිප්තුවේ ටොලමි රාජවංශය පිහිටුවන ලදී. ටොලමි I සෝටර් රජු සහ ඔහුගේ පුත් ටොලමි II ෆිලඩෙල්ෆස් (Ptolemy II Philadelphus) යටතේ පුස්තකාලය සහ ඒ හා සම්බන්ධ Mouseion (කෞතුකාගාරය) සංකීර්ණය ගොඩනැගීමේ කටයුතු ආරම්භ විය.ටොලමිවරුන්ගේ ප්රධාන අරමුණ වූයේ ඇලෙක්සැන්ඩ්රියාව එකල ලෝකයේ ප්රමුඛතම සංස්කෘතික හා පුස්තකාල සම්පත් (දැනුම සම්භාරය තැන්පත් කරන ස්ථාන අතරින්) අතින් ඉහළම අගනුවර බවට පත් කිරීමයි. ඒ සඳහා ඔවුන් ග්රීසියේ ඇතැන්ස් හි පැවති ඇරිස්ටෝටල්ගේ Lyceum වැනි ශාස්ත්රීය ආයතන ආදර්ශයට ගත්හ.
මෙම කාල වකවානුව තුළඳී කැපී පෙනෙන ලක්ෂණයක් වූයේ මැටි පුවරු, පැපිරස් පත්ර ආදියෙහි ලියූ ලේඛන හැකි තරම් එක් රැස් කර ගබඩා කර තබා ගැනීමයි. ඒ අනුව ඇලෙක්සැන්ඩ්රියාවේ පුස්තකාලයද හැකි තරම් ලේඛන ද්රව්ය තම එකතුවකට එක් කර ගනීමට කටයුතු සිදු කරන ලදී.එහිදී ඔවුන් ලොව පුරා සිටින වෙළෙන්දන්, සංචාරකයින් සහ රාජ්ය තාන්ත්රිකයන්ගෙන් පොත් සහ ලියවිලි මිලදී ගැනීමටත්, ණයට ගැනීමටත්, පිටපත් කිරීමටත් කටයුතු කළහ. එසේම ප්රකට ජනප්රවාදයකට අනුව, ඇලෙක්සැන්ඩ්රියා වරායට පැමිණෙන සියලුම නැව්වල ඇති පොත් පත් රාජසන්තක කරන ලද බවත්, ඒවා පුස්තකාලයේදී පිටපත් කර, මුල් පිටපත් පුස්තකාලයට තබා ගෙන, පිටපත් අයිතිකරුවන්ට ආපසු ලබා දුන බවද සඳහන් වේ. ඒ අනුව මෙම කාල වකවානුව වන විට තිබූ සුවිශාලම එකතුව ගොඩ නැංවීමට ඇලෙක්සැන්ඩ්රියානු පුස්තකාලය නිරන්තරවම කටයුතු කළ බවට සනාථ වනු ඇත.

No comments:
Post a Comment