ලේඛන කලාවේ ගමන් මඟ: මැටි පුවරුවේ සිට කඩදාසිය දක්වා - SunLisa

Latest

SunLisa

Random Posts

BANNER 728X90

Sunday, July 20, 2025

ලේඛන කලාවේ ගමන් මඟ: මැටි පුවරුවේ සිට කඩදාසිය දක්වා

 


    මානවයාගේ සම්භවය සිදුව ඇත්තේ දැනට වසර ලක්ෂ ගණනාවකට පෙර බව විද්වත් මතයයි. ඒ අනුව ප්‍රාතමික මට්ටමේ සිට විවිධ යුග පසු කරමින් වර්තමානය තුළ ජීවත්වන මානවයා දක්වා මිනිසා ක්‍රම ක්‍රමයෙන් පරිණාමය වීමට පටන් ගත්හ. මෙම පරිණාමයත් සමග මානව සන්නිවේදනයේ සීඝ්‍ර වර්ධනයක්ද දැකගැනීමට හැකි විය. ඒ පිළිබඳ පර්යේෂණ සිදු කරනු ලබන මානව විද්‍යාඥයන්, පුරාවිද්‍යාඥයන්, ඉතිහාසඥයන්, වාග් විද්‍යාඥයන් මෙන්ම පුස්තකාල විද්‍යා ක්ෂේත්‍රයේ පර්යේෂකයින්ද සඳහන් කරනු ලබන ආකාරයට ලේඛන කලාවට අත් වන්නේ සුවිශේෂි ස්ථානයකි.

    සිංහල ශබ්ද කෝෂයට අනුව ලේඛන කලාව යනු ලිවීමේ ශාස්ත්‍රය යි. එනම් යම්කිසි රටාවකට හෝ සම්ප්‍රදායකට අනුව ලිපි ලේඛන පොත් රචනා කිරීමේ ශිල්පය ලේඛනය ලෙසට තවදුරටත් අර්ථ ගැන්විය හැකිය.ලෝක ඉතිහාසය දෙස අවධානය යොමු කිරීමේදී ඉතා ඈත අතීතයක සිට විසූ ජනතාව විවිධ රටා ඔස්සේ තම අදහස් චිත්‍රානුසාරයෙන් සන්නිවේදනය කිරීම සිදුකර ඇති ආකාරය දැකගත හැකි බැවින් උක්ත නිර්වචනයට අනුව ලේඛනයේ ආරම්භය වසර දස දහස් ගණනක් ඈතට දිව යන බව නිගමනය කළ හැකිය.

මැටි පුවරු භාවිතා කිරීම.

    මෙතෙක් සිදු කර ඇති පර්‍යේෂණයන්ට අනුව ලිවීමේ ඉතිහාසය ආරම්භ වන්නේ මෙසපොතේමියාවේ සුමේරියානුවන්ගෙනි. එසේම ඓතිහාසික වාර්තාවලට අනුව ප්‍රථම පුස්තකාලය නිර්මානය කර ඇත්තේ මෙම කාල වකවානුවේදී ඇසෙරියානු රජෙකු වූ දෙවැනි සර්ගන් රජුය. එහිදී ඔවුන් කීලාකාර අක්ෂර (cuneiform) ලෙස හැඳින්වෙන ලිවීමේ ක්‍රමයක් නිර්මාණය කරන ලද අතර මෙම පුස්තකාල තුල එකී මැටි පුවරු තැන්පත් කර තැබූ බව සඳහන් වේ. මෙහිදී ඔවුන් මැටි පුවරු මත ලිවීම සඳහා යොදාගත්තේ තෙත මැටි පුවරු සහ උල් වූ බට දණ්ඩකි. මෙම බට දණ්ඩෙන් මැටි පුවරුවල සලකුණු කොට, පසුව ඒවා හිරු එළියේ හෝ ගින්දරේ වියළා ස්ථිර ලේඛන බවට පත් කළ අතර වෙළෙඳ ගනුදෙනු, පරිපාලන වාර්තා සහ නීති රීති ලියා තැබීමට මෙය භාවිතා වුවත්, පසුව කවි, පුරාවෘත්ත සහ ඉතිහාසය ලේඛනගත කිරීමට මේවා යොදා ගත් බවට තොරතුරු සඳහන් වේ.

    මේ අනුව මෙම කාල වකවානුව වන විට ලෝකය තුල ප්‍රධානතම ලේඛන මාධ්‍ය ලෙසට මැටි පුවරු පත්ව තිබූ බව අවබෝධ කර ගත හැකිය. විශේෂයෙන් ම මෙකල බිහි වූ පුස්තකාල "මැටි පුවරු ගබඩාවන්" ලෙසට පත්ව තිබී ඇත. ඒ අනුව ක්‍රි.පූ 705 දී පමණ දෙවන සර්ගන් රජුගේ අභාවයත් සමඟ බලයට පත් වූ අසුර්පනිපාල් රජු ඔහුගේ රාජකීය අඟනුවර බවට පත් කර ගත් "තිනාවේ" නම් ප්‍රදේශයේ කොටසක රාජකීය පුස්තකාලයක් ඉදි කළ අතර දෙවන සර්ගන් රජුගේ පුස්තකාලයේ තිබූ මැටි පුවරුද ඔහු තම පුස්තකාලය වෙත අත්පත් කර ගත් බව සඳහන් වේ. ඒ අනුව දළ වශයෙන් මෙහි මැටි පුවරු 30000කට ආසන්න ප්‍රමාණයක් තැන්පත්ව තිබූ බවට පුරාවිද්‍යා ශාක්ෂි මඟින් තහවුරු කරගෙන ඇත. එසේම මෙම කාල වකවානුව තුළදී ඇසිරියානුවන්ගේ විශ්වාසයට අනුව ලේඛන කලාවට අදිගෘහිත ලෙස සලකා ඇත්තේ "නාබු" (Nabu) නම් දෙවියෙකි. ඒ අඅනුව මෙම කාල වකවානුව වන විට ලේඛන කලාව සමාජ ගත වී තිබූ සංකල්පයක් බවට මෙකී කරුණු තුළින් විෂද වනු ඇත.

පැපිරස් පත්‍ර භාවිතය.

     ඊජිප්තුවරුන් ක්‍රි.පූ. 3500 පමණ කාලයේදී පැපිරස් ශාකය යොදාගෙන ලිවීම සඳහා නව මාධ්‍යයක් සොයාගත් බවට තොරතුරු සඳහන් වේ. නයිල් නදී ඩෙල්ඩාවේ ඉතා සශ්‍රීකව මේම පත්‍ර වැඩීම සිදු විය. ඒ අනුව නයිල් නදී ඩෙල්ටාවේ විසූ පේරෝවරුන් විසින් සිය ලේඛන මාධ්‍ය ලෙසට පැපිරස් පත්‍ර භාවිතයට ගැනීමට හුරු වන්නට විය. ඔවුන් පැපිරස් ශාකයේ පත්‍රවලින් සාදන ලද තුනී කොළ මත ලිවීම සිදු කළ අතර ඒ සඳහා භාවිතා කරන්නට යෙදුණේ උල් තුඩක් සහිත පෑනක් වැනි උපකරණයකි. මෙම පැපිරස් පත්‍ර මැටි පුවරු වල ලිවීමට වඩා පහසුවක් ඇති කරන ලදී. එමෙන්ම ඒවා ගෙන යාමට සහ ගබඩා කිරීමටද පහසු විය. පසුකාලයේදී ග්‍රීකයන් සහ රෝමවරුන් විසින් මෙම ක්‍රමය ලොව පුරා ව්‍යාප්ත කිරීමට කටයුතු සිදු කළ බව සඳහන් වේ.

    පැපිරස්වලට අමතරව පර්ච්මන්ට් (සත්ව හම්) භාවිතා කිරීමත් වැදගත් සන්ධිස්ථානයක් ලෙස හඳුනා ගත හැකිය. ඒ අනුව පර්ච්මන්ට් පැපිරස්වලට වඩා කල්පැවැත්මෙන් වැඩි වූ අතර එය සත්ව හම් පදම් කර සකස් කළ නිසාවෙන් දෙපසම ලිවීමට ද හැකියාව තිබුණි. මධ්‍යකාලීන යුගයේදී යුරෝපයේ ආගමික ග්‍රන්ථ සහ රාජකීය ලේඛන සඳහා පර්ච්මන්ට් බහුලව භාවිතා කළ බවට ද තොරතුරු සඳහන් වේ.

Animated Download PDF Button
📥 PDF is downloading Started...

No comments:

Post a Comment